02 වන දවස

 

අද නිවාඩු දවසක් වෙච්ච නිසා හොඳට ගියා. ඊයේ පැයක් විතර වටයක් කරක් ගැහුවත් වැඩක් සෙට් උනේ නැති එකට උදේම නැගිට්ටෙත් අවුලෙන්. බැරි බැරි ගාතේ වුණත් අමතර වැඩ හොයන්නේ පොඩි වුණ්ට කණ්ඩ බොන්ඩ දෙන එකත් මේ කාලේ අමාරු නිසා, ඒත් මිනිස්සු දැන් කුලී ගෙවලා වැඩ  කරගන්නේ නැතිම තරම් පුළුවන් හැටියකට තමන්ම කරගන්නවා මිසක්.

 

ඒත් වෙලාව කියන්නේ හත වෙද්දිම පෝන් එක වැදුනා .කෝල් එක ඇවිත් තිබ්බේ ශාන්ත මලයගෙන්.

“අයියේ උඹට අද නිවාඩු නේද “

‘ඔව් මලයෝ කියහන් මොකක්ද කාරණේ”

ඌ පෝන් එකෙන් කතා කරනවා නෙවෙයි බෙරිහන් දෙනවා.

 

“මේ පොඩි වැඩක් තියනවා ,අපේ ලොකු අක්කලාගේ අහ ,උඹට නිවාඩුනම් කරන්න පුළුවන්ද කියලා බැලුවේ”

 

හම්මේ නිවන් ගියා වගේ , වැඩක් නැතිම වුනොත් මම හිතන් උන්නේ හන්දියේ ධර්මසිරි මුදලාලිගේ එළවලු උර අදින්න යන්න. එක උරේකට රුපියල් සීයක් හම්බෙනවා,කන්ද මුදුනටම අදින්න තිබ්බත් මොකෝ විස්සක් ඇද ගත්තා නම් ගොඩ.

 

“මෙහෙමයි විමල් අයියේ අලුතින් හදන බාත් රූම් එකට ගලි වළක් කපන්නයි ඕනි පුළුවන් ඉක්මනට වැඩේ වෙන්නත් ඕන, උඹට කෑම එක්ක දෙදෙහක් දෙන්නම් දවසට ,මොකෝ කියන්නේ එනවද?”

 

මම කෝල් එක ආපු හැටියේ සමන්තිකා උදේට කන්න හදලා තිබ්බ හාල්මැස්සෝ හොද්ද එක්ක බත් ටික කාලා ඉක්මනට යන්න ලෑස්ති වුණා.

 

හිතේ දහිරියට කලාට වැඩේ හිතන තරම් ලේසී නෑ කියලා හිතුනේ ගෙදර ඇවිත් නාගෙන වාඩි උනාට පස්සේ.

 

“ඇයි තාත්තේ කොහේ හරි රිදෙනවද ?”

 

මගේ කෙඳිරි ගෑවිල්ලට සාලේ කොනේ පාඩම් කර කර හිටපු පුතත් ළඟට ආවා.

 

“අම්මේ මෙන්ඩෝ තාත්තට රිදෙනවලු”

 

පොඩි එකී කෑගැහුවේ අල්ලපු ගෙදරටත් ඇහෙන්න.

 

“ඇයි විමල් මොකෝ අතපය රිදෙනවාද? ඕක තමයි මම කට ගෙවනකම් කීවේ ඔහේට ඔව්වා කරන්න බෑ කියලා. අවුරුදු කියලා කොච්චර නහින්නද, පුළුවන් හැටියකට ඉන්නවා මිසක “

 

සමන්තිකා පුරුදු තැටිය වාදනය කරන්නඩ ගත්තා.

ගෑණි කොහොමත් කැමති නෑ මම දුක් විඳිනවට. කියන්නෙම තියන හැටියකට ඉමු කියලා.

 

අපරාදේ කියන්න බෑ ශාන්ත මලයගේ අක්කලා රත්තරං මිනිස්සු,සල්ලි දුන්නා කියලා නෑ දහයට කිරිබතුයි කට්ට සම්බෝලයි එක්ක නෙස්ටමෝල්ට්  එකකුත් දුන්නා. දවල්ටත් මාළු උයලා එළවලු දෙක තුනක් එක්ක බත් දීලා ආයේ හතරට විතර ලැවරියා එකක් හොඳ ඉඟුරු ප්ලේන්ටියක්  දුන්නා. වැඩ ඉවර කරලා එන්න හදද්දිත් පොරේ තේ බීලා යන්න කියලා, මමයි එපා කියලා ආවේ.

 

කෝකටත් කියලා රෑනිදාගන්න කලින් පෙනඩෝල් පෙති දෙකකුත් ගැහුවා. හෙටත් පරක්කු උනොත් මොන දෙයියන්ට කියනන්ද, අරූ මාව රස්සාවෙනුත් දොට්ට දායි.

 

ඇඳට ඇවිත් කතා උනේ අපේ එක්කෙනාගේ එළවලු වගාව ගැන, ඔන්න කොල මිටි දහයකුත් බැඳලලු තියෙන්නේ හෙට යන ගමන් කඩේට දීගෙන යන්න. තක්කාලි කිලෝවක් විතරත් තියේලූ, ඒකී ඔය සුමේ කරන්න පොඩි එකාව ඉංග්‍රීසි පන්තියට යවාගන්න.

 

නිදාගන්න ගියාට මොකෝ කොන්ද අත පය සේරම ඇදුම් කනවා. අමාරුවෙන් කෙඳිරි නොගා ඉවසගෙන හිටියේ අරයා කලබල වෙන නිසා. මේ තරම් අමාරුයි කියලා දැනගත්තොත් හෙට යන්න දෙන එකකුත් නෑ. ඇඳට වෙලා ළමයි ගැනයි , ගෙදර කපරාරු කරගන්න එක ගැනයි කතා කර කර ඉද්දි සමන්තිකා ලඟින් ආපූ කොහොඹ සබන් සුවඳට මට හිතුවටත් වඩා සනීපෙට නින්ද ගියා.

 

———————————————————————————————————————–

 

ඊයේ ගෙදර එද්දි අමායා නිදි නිසා මටයි රෑට උයන්න සිද්ද වුනේ, අමායටත් එක ලෙඩක් නෙවෙයි මිග්‍රෙන් , ඩිප්‍රෙශන් ඔක්කොම. ඒත් අද උදේ නැගිටලා කෙඳිරිගගා අමාරුවෙන් තේ එක හදලා ළඟටම ගෙනත් දුන්නා,මම උයන්න එපා කඩෙන් කන්නම් කියද්දිත්,

 

“මේ දවස්වල අමාරුයිනේ භානුක , කඩෙන් කන්න ඕනී නෑ මම උයන්නම් ඔයා දුවා ළඟට යන්නකෝ”

කියලා උයලත් දුන්නා.

 

මට අමායා ගැන පුදුම දුකක් දැනෙනවා වෙලාවකට. අමාරුවෙන් කට්ට කාගෙන ඉගෙනගෙන සෙකන්ඩ් අපර් එකකුත් තියෙද්දි දැන් නිකන් කුස්සි අම්මා කෙනෙක් වගේ වැඩ. දරුවගේ වැඩයි ගෙදර වැඩයි සේරම කරට අරගෙන කරනවා කලාතුරකින් අසනීපයකදි ඇරුනම. ලක්ෂ එකහමාරක් විතර පඩි ගත්ත කෙල්ල , ඒ දවස්වල සතියකට සැරයක් ක්ලීනප් , මෙනිකිව් පෙඩිකිව් සේරම කරගත්තේ හොඳම සැලුන් වලින් , ගෙදර පවිච්චි කරන බඩු සේරම අමායගේ සල්ලි වලින් ගත්ත ඒවා. දැන් ක්ලීනප් තියා අයිබ්‍රෝ හදාගන්නෙත් ඉඳලා හිටලා. ඒ දවස්වල ඩයට් කරලා ෆිගර් මේන්ටේන් කරාට , දැන් ඩයට් නොකරම කෙට්ටු වෙලා. වෙන බබ්බු හම්බුණු ගෑණු අය මහතට පිරිලා ඉද්දි මෙයා මෙච්චර කෙට්ටු මොකද කියලා බයත් හිතෙනවා , ඩොක්ටර් කෙනෙක්ටවත් පෙන්නුවොත් හොඳයිද මංදා ලේ අඩුකමටත් ඔහොම වෙනවා.

 

අද පෙරේරා බොස් සැරෙන් සැරේ දහ සැරයක් විතර මට කෝල් දීලා තිබ්බා, ජපනා ෆන්ඩ් කරන්න හිටපු  ප්‍රොජෙක්ට් එකත් නැවතිලාලු , අනේ මංදා මේකවත් ගොඩ දාගෙන ඉන්ක්‍රිමන්ට් එකකට යන්න හිටියේ, අපෙ කරුමෙද , රටේ කරුමෙද කියලා තේරෙන්නේ නෑ. කලින් වතාවේ ප්‍රමෝශන් එක නූලෙන්නේ මිස් උනේ. ඒක හරි ගියානම් ඔක්කොම ප්‍රශ්න විසඳෙනවා.

 

හවස එන ගමන් කවීශයා සෙට් වෙලා වාහනේ වැඩේ ගැනත් කිව්වා. ඌ කියන විදියට මේකට අනිවාර්‍යේන් 85 කට වැඩිය ගත්තැහැකි,

 

වෙලාවකට ඔක්කොම දමලා ගහලා රට යන්න හිතෙනවා, ලීස් එකට ගියාම අතට 70 ක් විතර ඉතුරු වෙයි.  ඊට පස්සේ  රත්තරං බඩු ටිකත් බේරලා තිස් පහකට වගේ ඇල්ටෝ එකක් බලනවා ඉතුරු ටිකෙන් මොනවා හරි කරන්න බලනවා . වාහනේට වඩා ණය නැතුව ඉන්න එක සැපයි. ඊට පස්සේ ඉතිං හවුසින් ලෝන් එක විතරනේ ඒක කොහොමත් පඩියෙන් කැපෙන එකනේ. හවස මම එද්දි අමායා පාස්තා හදලා ලස්සනට මේසෙටත් ඇරලා.

 

චූටික්කිටත්  දැන් මාස එකොළහනේ අලුත් දේවල් ඉගන ගන්න හරි උනන්දුයි.

“තත්… තත්…”

මාව දැක්ක ගමන් කෑගහන්නේ අමායගේ මූණත් හප හප, දැන් එයාට බෙරි බත් කවනවනේ. ඒත් එයා කැමති ෆීඩින් චෙයාර් එකේ වාඩි වෙලා අපි කන ඒවම කන්න.

 

අමයා ප්ලෙට් එකට පාස්තා ටිකක් දාලා දුන්නම සැරෙන් සැරෙ චුට්ට චුට්ට කටට දාගෙන කෑවා, ගෑණී කනවට වඩා “අම්… ම්ම්…මා , තත්… තා” කිය කිය වටේටම පාස්තා විසිකරන එක කරේ.

“භානුක මම ෆ්‍රී ලාංසින් කරන්න කියලා”

අමායා කතා කරේ කණ්ණාඩිය දිහා බලාගෙන.

“ඇයි හදිස්සියේම “

අමාරුයි තමයි ඒත් මම මට පුළුවන් හොඳම දේ හැම වෙලේම ඒ දෙන්නට දුන්නා.

“හදිස්සියක් නෑ රත්තරං ඔයත් මහන්සි වෙනවා වැඩී, ඉස්සරහට දුව ලොකු වෙද්දි අපිට තවත් අමාරුවෙයි,ඒකයි මම බැලුවේ”

 

මට අමායා ගැන දුකක්ද ආදරයක්ද මොකක්ද කියලා හරියට කියන්න බැරි හැඟීමක් ආවා.

තේරුම් ගන්න බැරි හැඟිම් වල හිර වෙලා ඉන්නවට වඩා තේරුම් ගන්න පුළුවන් හැඟීමක ජීවත් වෙන එක හොඳ නිසා මම අමායව ඇදලා මගේ පපුව උඩට ගත්තා.

 

තුන්වෙනි දවසින් හම්බෙමු

 

සටහන : අක්ෂි මාපා වීරසිංහ

 

පළවෙනි කොටස මෙතනින් කියවන්න – https://bit.ly/3Qd9s0N

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්