මෙරට තුළ ව්‍යාපාරවල නිරත වන ප්‍රමුඛ පෙළේ ඉන්දීය ව්‍යාපාරිකයින් සඳහා වසර 05ක කාලයකට වීසා ලබාදී තිබෙනවා.

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා විසින් අදාළ වීසා ලබාදීම සිදුකර ඇති බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළා.

මෙරට ආයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම වීසා ලබාදීමේ වැඩපිළිවෙළ ඉවහල් වනු ඇති බවයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ.

මේ අතර ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා පසුගිය බදාදා වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා හමුවී මෙරට වෙළෙඳ ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා පවත්වා තිබෙනවා.

එහිදී ශ්‍රී ලංකාව අතර ව්‍යාපාරික සම්බන්ධතා සඳහා පහසුකම් සැලසීම පිළිබඳව අවධානය යොමුවූ බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළා.

මේ අතර, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ඉන්දියාවේ ආහාර සැකසුම් අමාත්‍ය ශ්‍රී පශුපති කුමාර් පරාස් මහතා හමුවී තිබෙනවා.

ආහාර සැකසුම් කර්මාන්ත සහයෝගීතාවක් සහ කිරි ක්ෂේත්‍රවල සහයෝගීතාවක් ඇතිකර ගැනීම සම්බන්ධයෙන් මෙහිදී ඉන්දියාව එකඟ වී ඇති බව ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ.

පවතින ණය වැඩසටහන යටතේ ඉන්දියාවෙන් කිරිපිටි ආනයනය කිරීමට සහ දරුවන්ගේ පෝෂණය ඉහළ නැංවීම සඳහා ඉන්දියාවේ දායකත්වය ලබාගැනීම සම්බන්ධයෙන් මෙහිදී වැඩිදුරටත් අවධානය යොමුව තිබෙනවා.

මෙන්න බලන්න තවත් පුවත්