පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තේ කවුරුන්ද යන්න ගැන යහපාලන රජය විසින්ම පත්කළ ජනාධිපති කොමිසමෙන් හෙළිකර ඇති බවත්, කඩිනමින් එම පිරිසට දඬුවම් ලබාදීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කොට අදාළ පුද්ගලයින්ට නැවතත් එවැනි දෙයක් මේ රටේ සිදුනොකරන තැනට ඔවුන්ගේ අයිතිවාසිකම් අහෝසි කිරීමට කටයුතු කළ හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

අධි තාක්ෂණික කේබල් මත ඉදිකළ මෙරට ප්‍රථම ගුවන් පාලම වන “කල්‍යාණි රන් පිවිසුම” යනුවෙන් හඳුන්වනු ලබන නව කැළණි පාලම ජනතා අයිතියට පැවරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා,

” විරුද්ධ පක්ෂය ඒගොල්ලන්ගේ පාලනයෙන් ගිහිල්ලා තවම අපි අවුරුදු දෙකයි තාම. හැබැයි හාමුදුරුවනේ ඒ අය කතා කරන්නේ ජිවිතේට රට පාලනය කරපු කට්ටියක් නෙමෙයි හැටියට. කිසිම ඇමතිකමක් දරපු නැති අය හැටියට. පාස්කු ඉරිදා ප්‍රහාරය වෙනකොට කවුද මේ රටේ පාලනය කලේ?

එදා අපි ශක්තිමත් ආරක්ෂක සේවාවක් ඇති කරලා තිබුණා. ඒකයි අපිට යුද්ධය දිනන්න පුළුවන් වුනේ. එදා අපි ශක්තිමත් බුද්ධි සේවාවක් ඇති කරලා තිබුණා. යුද්ධයෙන් පස්සෙත් කිසිම සිද්ධිය නුණේ අන්න ඒ හින්දා. නුමුත් ඒ අය බලයට ඇවිල්ලා, බුද්ධි සේවාව නැති කරලා, රණවිරුවන්ව නැති කරලා, ඔවුන්ගේ මානසිකත්වය කඩා දාලා, මේ රටේ ජාතික ආරක්ෂාව කෙරෙහි කිසිම ප්‍රමුඛත්වයක් නොදී මේ රට පාලනය කරන්නට ගිහිල්ලා පාස්කු ඉරිදා සිද්ධිය සිද්ධ වුණා.

ඒ අයම පත් කළා ජනාධිපති කොමිසමක්. ඒ කොමිසමේ පැහැදිලිවම කියල තියෙනවා වැරදිකාරයෝ කවුද කියලා. එවකට හිටිය ජනාධිපතිවරයා, අගමැතිවරයා, ඇමති මණ්ඩලය මේකට වගකියන්න ඕන කියලා පැහැදලිවම කියල තියෙනවා. අපි ඒ සියලුම වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. ඇටර්නිජනරල්ට ලබාදීලා තියෙනවා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදීලා තියෙනවා ඒ ගැන පරීක්ෂණ කරලා ඒ අයට නිසි දඩුවම් ලබා දෙන්න කියලා.

හැබැයි අර ගිය ආණ්ඩුව වගේ අපි දේශපාලන පලිගැනීම් ගන්න අපි ඇඟිලි ගහන්නේ නැහැ. ඇයි අපිට කිව්වේ නීතිය ස්වාධිනත්වය තියන්න කියලා අධිකරණයේ. එක පැත්තකින් අධිකරණයේ ස්වාධිනත්වය ඉල්ලනකොට තව පැත්තකින් කියන්න බැහැ අහවලාව ගෙන්න අහවලාව දඩුවම් දෙන්න කියලා. ඒක අධිකරණය කරයි. හැබැයි විශ්වාසයක් තියෙනවා.

හැබැයි කඩිනමින් කරන්න ඕන නම් අපිට පුළුවන් පාර්ලිමේන්තුවේ පනතක් ගෙනල්ලා, එහෙම කරලා තියෙනවා මීට ඉස්සෙල්ලා. ඒ වගකියන අයගේ අයිතිවාසිකම් අහෝසි කරලා දාන්න. ඒ කරපු වැරදි තවත් මේ රටේ කරන්න ඉඩ නොදෙන අන්දමට ක්‍රියාකරන්න පුළුවන් අවශ්‍ය නම්. ඒකනම් ඉල්ලන්නේ අපි ලැස්ති ඒක කරන්න. අපිට තුනෙන් දෙකක බලයක් තියෙනවා. එක එක ඒවා ඉල්ලනකොට ටිකක් ප්‍රවේශමෙන් ඉල්ලන්න වෙයි. ඒකටත් අපි ලෑස්ති” ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.

මෙන්න බලන්න තවත් පුවත්