පොලිසියේ අසූ නව දහසකට ආසන්න නිලධාරී පිරිසෙන් තිස් දහසක් පමණ ආසන්න කාලයක් ඇතුළත විශ්‍රාම යාමට පටන් ගෙන ඇති බවත් ඉදිරි වසර කිහිපය තුළ නියමිත කාර්ය මණ්ඩලයක් නොමැතිව පොලිසියේ කටයුතු පවත්වාගෙන යාමේ දැඩි අර්බුදයක් මතු විය හැකි බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

88,89 කාලයේ දී විසි දහසකට වැඩි පිරිසක් එකවර පොලිස් සේවයට බඳවා ගැනීම හා ඔවුනගේ විශ්‍රාම කාලය අවසන් වන්නට පටන් ගෙන තිබීම මෙම තත්ත්වයට හේතු වී ඇතැයි උසස් පොලිස් නිලධාරීහු කියා සිටිති.

මේ වන විටත් පොලිස් ස්ථාන සියල්ලේම පාහේ අනුමත කාර්ය මණ්ඩල වලින් අඩකටත් වැඩි ප්‍රමාණයක් නොමැති වීමෙන් පොලිස් ස්ථානවල කටයුතු පවත්වාගෙන යාම අර්බුදකාරී තත්ත්වයකට වැටී තිබේ.

වර්තමානයේ එල්ල වී ඇති මෙම ගැටලුකාරී තත්ත්වය ගැන මීට වසර කිහිපයක පෙර හෝ අවධානය යොමුකර බඳවා ගැනීම් හා පුහුණු කිරීම් කල් ඇතිව සිදුකර තිබුණේ නම් මෙම තත්ත්වය උද්ගත නොවන බව ද පොලිසිය පවසයි.

කෙසේ වෙතත් මේ තත්ත්වය සැලකිල්ලට ගෙන විශාල පිරිසක් එකවර පොලිස් සේවයට බඳවා ගැනීමක් කළත් එතරම් විශාල පිරිසකට එකවර පුහුණුව ලබාදීමට පොලිස් අභ්‍යාසවල ධාරිතාව ප්‍රමාණවත් නොවන තත්ත්වයක් මතුව ඇත.

එමෙන්ම නව පොලිස් ස්ථාන ස්ථාපිත කිරීමට වත්මන් රජය පියවර ගැනීමත් සමග එක් එක් පොලිස් කොට්ඨාසවලට අනුයුක්ත පොලිස් නිලධාරීන් නව පොලිස් ස්ථානවල රාජකාරී සඳහා යෙදවීම ද පොලිස් ස්ථානවල කාර්ය මණ්ඩල හිග වීමට තවත් එක් ප්‍රධානම හේතුවක් වී ඇත.

මෙන්න බලන්න තවත් පුවත්