ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මෙරට ශිෂ්‍යාවක් විසින් අධි තාක්ෂණික වෙඩි නොවදින ත්‍රිත්ත්ව ලෝහ ඇඳුමක් නිපදවීමට සමත් වී තිබෙනවා.

මේ වනවිටත් සිය පශ්චාත් උපාධිය සිඩ්නි සරසවියෙහි හදාරමින් සිටින ඇය නමින් ප්‍රභානි රණවීරයි.

තම පශ්චාත් උපාධිය අවසන් කිරීමට සිදු කළ යුතු පර්යේෂණය සඳහායි, ඇය විසින් මෙම නව නිපදවීම සිදු කර ඇත්තේ.

මේ වනවිටත් ලෝකය තුළ ප්‍රයෝජනයට ගනු ලබන්නේ, වානේ නැතහොත් ආමර් වර්ගයේ වෙඩි නොවදින ඇඳුම් වුව ද, යම්කිසි ප්‍රහාරයකදී ඉන් හානියක් සිදු නොවුණ ද පැය කිහිපයක් තුළ ප්‍රහාරයේ කම්පන සංඛ්‍යාතය ශරීරයට දරා ගැනීමට නොහැකි වීමෙන් ජීවිත හානි සිදු වන බවයි ඇය පෙන්වා දෙන්නේ.

එමෙන්ම ප්‍රහාරයෙන් මිනිස් ශරීරයෙහි අවයවවලට එල්ල වන තරංග ප්‍රමාණය ද අහිතකර විකිරණශීලී ද්‍රව්‍යය හේතුවෙන් ඉන් ජීවිත හානියක් සිදු නොවුණ ද, පසුව එය විවිධ අතුරු ආබාධ හට ගැන්මට ද හේතුවක් බව ද ඇය සඳහන් කරනවා.

නමුත්, වැඩිදියුණු කර, නිපදවූ අධිතාක්ෂණික වෙඩි නොවදින ත්‍රිත්ත්ව ඇඳුම මගින් සටන් බිමේදී සිදුවන ප්‍රහාරයන් තුළින් ජීවිත හානි සිදුවීම වළක්වන බව සිය පර්යේෂණයෙන් හෙළි වී ඇති බවයි ප්‍රභානි රණවීර සිසුවිය ප්‍රකාශ කළේ.

වානේ ලෝහය අධික ස්කන්ධයකින් හෙබි හෙයින්, ලෝකයේ බොහෝ දියුණු රාජ්‍යයන්වල න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදු කරන්නේ, වානේ සහ ඇලුමිනියම් යොදා ගනිමින් බවයි ඇයගේ මතය.

මෙම නව නිර්මාණයේ පවතින බර ප්‍රමාණය බොහෝ සෙයින් අවම කිරීම සඳහා වානේ ලෝහයට අමතරව භාවිත කර ඇත්තේ, ටයිටේනියම් සහ ඇලුමිනියම් බව ද ඇය සඳහන් කළා.

අදාළ නව නිපැයුම මගින් ප්‍රහාරයෙන් පසු සිදුවන කම්පන තත්ත්වයන් සියයට 80කින් පමණ අවම කිරීම ද මෙහි වාසි සහගත තත්ත්වයක්.

ඔස්ට්‍රෙලියාවේ සිට ක්‍රියාත්මක වන මෙරට සිංහල නාලිකාවක් සමග සංවාදයකට එක් වෙමින් තම නිර්මාණය ගැන අදහස් පළ කර ඇති ප්‍රභානි රණවීර සඳහන් කළේ, මෙම නිර්මාණය මගින් එය පළඳින පුද්ගලයාගේ ශරීරයට දරාගත හැකි වන අයුරින් ඇඳුමේ තවදුරටත් හැකි උපරිමයෙන් බර ප්‍රමාණය අවම කිරීමට ඉදිරි පර්යේෂණ කටයුතු සිදු කිරීම තම පර්යේෂණයේ ඉදිරි අරමුණු බවයි.

ප්‍රභානි රණවීර නම් වූ මෙම දක්ෂ ඉංජිනේරුවරියගේ මූලික අධ්‍යාපන අඩිතාලම කොළඹ මියුසියස් විද්‍යාලයෙන් ද, පසුව උසස් අධ්‍යාපනය සඳහා මෙරට පෞද්ගලික විශ්වවිද්‍යාලයකට ඇතුළත් වන ඇය, එහිදී සිවිල් ඉංජිනේරු විද්‍යාව සම්බන්ධයෙන් දෙවසරක පාඨමාලාව අවසන් කර, වැඩිදුර අධ්‍යාපනය සඳහා තායිලන්තයේ තාක්ෂණික විශ්වවිද්‍යාලයකට ද ඇතුළත් වූ බව ඇය පවසන්නේ, තමන් පැමිණි ගමන් මග සතුටින් මෙන්ම අනතිමානීව සිහිපත් කරමින්.

පසුව, පශ්චාත් උපාධි සිහිනය යථාර්ථයක් බවට පත් වන්නේ, ඒ සඳහා ඇයට ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට ශිෂ්‍යත්වයක් ලැබීමෙන් අනතුරුවයි.

එවන් පසුබිමකදී කාන්තාවක් ලෙසින් සිය දක්ෂතා ඔප මට්ටම් කරගනිමින්, මෙම නව තාක්ෂණික නිර්මාණයේ නිර්මාපකයා වීමේ වාසනාව ද හිමි කරගන්නේ, තම උපන් දේශය වූ ශ්‍රී ලංකාවට මහත් අභිමානයක් ද තිළිණ කරමින්.

මෙන්න බලන්න තවත් පුවත්