නායයාමේ අවදානමක් පෙන්නුම් කළ කොළඹ – මහනුවර මාර්ගයේ මේ වනවිට වසාදමා ඇති පහළ කඩුගන්නාව ප්‍රදේශයේ මාර්ගය නැවත ගමනාගමනයට විවෘත කිරීම සම්බන්ධයෙන් තීරණය අද දිනයේදී ගැනීමට නියමිත බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය පවසනවා.

යහපත් කාලගුණ තත්ත්වයක් හෙට 15 දිනයේ පවතින්නේ නම් මාර්ග සංවර්ධන අධිකාරිය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරින් සමග පැවැත්වෙන සාකච්ජාවකින් පසු එක් මංතීරුවක් රථවාහන ධාවනයට විවෘත කිරීමට යෝජනා වී ඇති බවයි ඔහු සඳහන් කර සිටියේ.

ඒ අනුව නායයෑමේ තර්ජනයක් පැවති ප්‍රදේශයේ රථවාහන නවතා නැරඹීම් තහනම් වන අතර ධාවනය වන වාහන දුරස්ථභාවයක් පවත්වාගෙන යායුතු බවටද යෝජනා කර ඇත.

පසුගිය 10 වෙනිදා වසා දැමු මහනුවර – කොළඹ මාර්ගය මේ වනවිට දින 04ක කාලයක් වසා දමා ඇත. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරින් අද දිනයේද විදුම් කටයුතු සිදුකර පස් අභ්‍යන්තරයේ ඇති ජලය ඉවත් කිරීම සිදු කර තිබෙනවා.

මේ අතර පුත්තලම කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ආනමඩුව ධර්මපාලය ප්‍රදේශයේ මාර්ගයට අද පස්වරුවේ ගසක් කඩාවැටීමෙන් එහි රථ වාහන ධාවනයට පැයකට ආසන්න කාලයක් බාධා මතුවී තිබෙනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තවදුරටත් විටින්විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි.

එමෙන්ම කලුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල,මාතලේ, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලට තවදුරටත් නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

මෙන්න බලන්න තවත් පුවත්