වසරක අන්තර්ජාතික ක්‍රිකට් තහනමකට මුහුණ දී සිටින කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයින්ගේ දඬුවම් සම්බන්ධයෙන් නැවත වරක් සලකා බැලිය යුතු යයි ඉකුත් සඳුදා (8 වැනිදා) පාර්ලිමේන්තුවේ අදහස් පළවිය. එහෙත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දී තිබෙන පණිවිඩය වඩාත් පැහැදිළි යයි හිටපු නායක කුමාර් සංගක්කාර මහතා කියයි.

“මෙතැනදී ටිකක් සාමාන්‍ය දැනීම භාවිතා කරනවා නම් හොඳයි. මේ තුන්දෙනාම ඉතාමත් දක්‍ෂ ක්‍රීඩකයන්. ඔවුන් තිදෙනාම තේරීම් සඳහා නොසිටීම කොයි තරම් විශාල පාඩුවක් වුණාද ? ඒත් ඒ අතරේම, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉතාම පැහැදිළි පණිවිඩයක් දී තිබෙනවා” යයි කුමාර් සංගක්කාර මහතා යූ-ටියුබ් නාළිකාවක් හා පැවැති සම්මුඛ සාකච්ඡාවකදී කියා තිබිණ.

පසුගිය ජූලි මාසයේදී එංගලන්තයේ සංචාරයක නිරත වෙමින් සිටියදී ජෛව ආරක්ෂිත බුබුල බිඳීමෙන් පසුව මෙම ක්‍රීඩකයන් තිදෙනාට වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක්ද, මාස 6 ක දේශීය ක්‍රිකට් තහනමක්ද පැනවන ලදි. ඊට අමතරව රුපියල් මිලියන 10 ක දඩයක් ද නියම කෙරිණි.

එහෙත්  ක්‍රීඩකයින්ට නියම කළ දේශීය ක්‍රිකට් තහනම, කෝන්දේසී වලට යටත්ව, වෙනස් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව තීරණය කළේය. ඒ ඔවුන් තිදෙනාට නියම කළ දඩය වන රුපියල් මිලියන 10 ගෙවමින් එල්.පී.එල්. තරගාවලියට සහභාගි වීමට අවසර දීමටයි.

එසේ වුවත් තහනම් කළ මාස හය ගෙවී යන තුරු දේශීය ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමට ඔවුන් තිදෙනාගෙන් කිසිවකුට අවසර නැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා තහවුරු කරයි.

මේ වනවිට පැවැත්වෙන අන්තර් සමාජ සීමිත ඕවර (ඕවර 50) ක්‍රිකට් තරගාවලියේදී එස්.එස්.සී. සහ එන්.සී.සී. කණ්ඩායම් තරග 5 බැගින් ක්‍රීඩා කර ඇතත් ක්‍රීඩකයන් තිදෙනාගෙන්ම කිසිවකු හෝ මෙතෙක් කිසිදු තරගයකට සහභාගිවී නොමැත. කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක එස්.එස්.සී. ක්‍රීඩා සමාජයත්, නිරෝෂන් දික්වැල්ල එන්.සී.සී ක්‍රීඩා සමාජයත් නියෝජනය කරති.

දින කිහිපයකට පෙර ක්‍රීඩකයන් තිදෙනාම නියමිත දඩ මුදල් ගෙවා ඇති නමුත් ඔවුන්ට අවසර ලැබී ඇත්තේ ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමට පමණි. ඔවුන් තිදෙනාටම බලපැවැත්වෙන මාස හයක දේශීය ක්‍රිකට් තහනම මේ වසරේ දෙසැම්බර් 28 වැනිදා අවසන් වීමට නියමිතව ඇත.

මීළඟ එල්.පී.එල්. තරගාවලියේදී නිරෝෂන් දික්වැල්ල දඹුල්ල ‘ජයන්ට්ස්’ කණ්ඩායම නියෝජනය කරන අතර ගාල්ල ‘ග්ලැඩියේටර්ස්’ පිල විසින් කුසල් මෙන්ඩිස් රඳවාගෙන තිබේ.

මේ වනවිට දිවයින පුරා පවතින වැසිබර කාළගුණික තත්වය හේතුවෙන් අන්තර් සමාජ සීමිත ඕවර (ඕවර 50) ක්‍රිකට් තරගාවලිය දියාරූවී තිබේ. බොහොමයක් අන්තර් සමාජ තරග වර්ෂාව හේතුවෙන් එකම පන්දුවක් හෝ ක්‍රීඩා නොකරම අතහැර දමා ඇත.

මෙන්න බලන්න තවත් පුවත්