නිවාස ඉදිකර දෙන බව පවසා රුපියල් කෝටි පහකට අධික මුදලක් වංචා කළ බව කියන නිවාස ඉදිකිරීම් ආයතනයක අධ්‍යක්ෂවරයා සහ ප්‍රධාන විධායක නිලධාරියා කොළඹ වංචා විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අයි.ඩී.එච්. රෝහලේ හෙද නිලධාරිනියක කළ පැමිණිල්ලක් මත ඇරැඹි විමර්ශනයේදී මේවනවිට වංචාවට හසුවූ 31දෙනකුගේ පැමිණිලි ලැබී තිබේ. එම 31 දෙනාට පමණක් රුපියල් පන්කෝටි හැට එක් ලක්ෂයක් වංචා කර ඇතැයි අනාවරණය වී තිබේ.

මෙම චෝදනාවට අත්අඩංගුවට ගෙන ඇත්තේ ඒෂියන් පොපර්ටි ඇන්ඩ් හෝම්ස් නමැති සමාගමක අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ දනුෂ්ක ලක්මාල් මහානාම සහ නිර්මල උදයකාන්ත සොයිසා නමැති එහි ප්‍රධාන විධායක නිලධාරියාය. පුවත්පත් දැන්වීම් හා සමාජ මාධ්‍ය ඔස්සේ නිවාස ඉදිකරදෙන ආයතනයක් ලෙස දැන්වීම් පළකර එම දැන්වීම් ඔස්සේ එන පාරිභෝගිකයන්ට කාලයක් තිස්සේ මුදල් වංචා කරමින් මෙම ජාවාරම කර ඇතැයි හෙළිවී තිබේ. මෙම සැකකරුවන් ඇතැම් අයගෙන් ලක්ෂ දහය පහළොව ලබාගෙන ගිවිසුම් අත්සන් කර ඇතත් නව නිවසකට මුල්ගලක්වත් තබා නැති බවද පැවසේ.

වංචා විමර්ශන අංශයට පැමිණිලි කළ හෙද නිලධාරිනියගේ කඩුවෙල පිහිටි ඉඩමේ නිවස ඉදිකර දීමට කියා රුපියල් ලක්ෂ දහසයක් අයකරගෙන අප්‍රේල් මාසයේදී මුල්ගල පමණක් තබා පැනගොස් ඇත.

මෙම වංචාකරුවන් කඳාන, මීගමුව පාරේ හා කොළඹ ඩින්ස් පෙදෙසේ කාර්යාලයන් පත්වාගෙන ගොස් ඇති බවත්, එම ගොඩනැගිලි කුලියට ගෙන ඇත්තේ මීට පෙර මෙවැනි ආකාරයේ නිවාස ඉදිකර දෙන බවට වංචා කරමින් බවත් හෙළිව ඇත.

මෙන්න බලන්න තවත් පුවත්