සපුගස්කන්ද ප්‍රදේශයේ ගමන් මල්ලක් තුළ දමා ගොස් තිබී හමු වූ කාන්තාවගේ ඝාතනය සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් හෙළි වී තිබේ.

අදාළ කාන්තාවගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් ඊයේ (නොවැ. 6) මට්ටක්කුලිය, සමිට්පුර ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ අනුව අනාවරණය වී ඇත්තේ, ඝාතනයට ලක්වූ කාන්තාව ඔක්. 28 වන දා පස්වරුවේ ත්‍රී රෝද රථයක නංවාගෙන අත්අඩංගුවට ගත් මට්ටක්කුලිය, සමිට්පුර ප්‍රදේශයේ පදිංචි සැකකාරියගේ නිවස වෙත පැමිණ ඇති බවයි.

එහිදී ඝාතනයට ලක්වූ කාන්තාව මුදලට සූදු ක්‍රීඩාවේ නිරත වී ඇති අතර මුදල් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුර දිග යාමෙන් හේතුවෙන් මෙම ඝාතනය සිදුවන්නට ඇති බවට සැක පළ කරන බව පොලිසිය පැවසුවේ.

සපුගස්කන්ද පොලිසිය සඳහන් කළේ, අදාළ කාන්තාවගේ ගෙළ සිර කර මෙම ඝාතනය සිදු කර ඇති බවට මරණ පරීක්ෂණ වාර්තාවෙන් අනාවරණය වී ඇති බවයි.

ඒ අනුව, ඔක්. 28 වන දා ඝාතනයට ලක් වූ කාන්තාවගේ මළ සිරුර ඊට පසු දින (ඔක්. 29) පෙරවරුවේ මට්ටක්කුලිය, සමිට්පුර ප්‍රදේශයේ සැකකාර කාන්තාවගේ නිවසේ සිට ගමන් බෑගයක දමා, රිදී පැහැති සම්පූර්ණයෙන් ආවරණය කරන ලද ලොරි රථයකින් ප්‍රවාහනය කර ඇති බවට විමර්ශනවලදී හෙළි වී තිබේ.

පසුව ලොරි රථයේ තිබූ මළ සිරුර සහිත ගමන් මල්ල අතරමගදී ත්‍රීරෝද රථයකට මාරු කර, මළ සිරුර හමු වූ සපුගස්කන්ද ප්‍රදේශයේ, මාබිම, වී මෝල පාරේ කසළ ගොඩ අසලට ප්‍රවාහනය කර ඇති බවට විමර්ශනවලදී තවදුරටත් හෙළි වී ඇත.

අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන්ගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී මළ සිරුර ප්‍රවාහනය කිරීමට යොදා ගත් ලොරි රථය පිළිබඳව අනාවරණය වී ඇති අතර පසුව එය පොලිස් භාරයට ගනු ලැබුවා.

සිද්ධියෙන් පසු, සැකකාර අඹුසැමි යුවළ නොවැ. 1 වන දා ප්‍රදේශයෙන් පළා යාම සඳහා ඔවුන්ගේ නිවසේ තිබූ භාණ්ඩ, ලොරි රථයකට පටවන අකාරය සී.සී.ටී.වී. කැමරාවක සටහන්ව තිබුණු බව ද පොලිසිය පැවසුවේ.

මේ අතර, අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාවගේ සහෝදරයා ද ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

සපුගස්කන්ද, මාබිම, වී මෝල පාරේ කසළ ගොඩක දැඩි දුර්ගන්ධයක් හමන බවට ප්‍රදේශ වාසීන් පොලිසියට කළ දැනුම් දීමක් මත අදාළ මළ සිරුර නොවැ. 5 වන දා සොයා ගනු ලැබුවා.

අඩියක් ගැඹුරු, අඩි දෙක හමාරක් දිග, අඩි දෙක හමාරක් පළල ගමන් මල්ලක අදාළ මළ සිරුර බහා තිබුණා.

මෙන්න බලන්න තවත් පුවත්