ආණ්ඩුව තුළ හටගෙන තිබෙන අර්බුද පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

පසුගිය කාලයේදී පොහොර අර්බුදය ඇතුළු අර්බුද ගණනාවක් සම්බන්ධයෙන් විපක්ෂයෙන් එල්ල වූ චෝදනාවලට මුහුණදීමට ආණ්ඩුවට සිදු වූ අතර මේ වනවිට බරපතලම ගැටලුව වී තිබෙන්නේ ආණ්ඩුව තුළින්ම එල්ල වන විරෝධයට මුහුණදීමයි. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දිගින් දිගටම ආණ්ඩුවේ නායකයන් සමග අර්බුද ඇතිකර ගනිමින් සිටින අතර මේ වනවිට ඔවුන් ප්‍රසිද්ධියේම ජනාධිපතිවරයා සහ ආණ්ඩුව විවේචනය කරන තත්වයට, අර්බුදය උණුසුම් වී තිබේ.

කොමියුනිස්ට් පක්ෂයේ නායක ඩිව් ගුණසේකර මහතා පසුගියදා ආණ්ඩුව දැඩිලෙස විවේචනය කළ අතර මීට අමතරව වාසුදේව නානායක්කාර මහතා පවසා තිබුණේ ආණ්ඩුව තුළ තවදුරටත් රැඳී සිටීමට නොහැකි තත්වයට පත්ව ඇති බවයි.

මෙම විවේචන සම්බන්ධයෙන් අගමැතිවරයා පසුගියදා විමල් වීරවංශ ඇමතිවරයා ඇතුළු කිහිප දෙනෙකු සමග සාකච්ඡා කර ඇති අතර එහිදී අගමැතිවරයා පොරොන්දු වී තිබෙන්නේ ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා කරන බවයි.

හවුල්කාර පක්ෂ යුගදනවි ගිවිසුමට දැඩි විරෝධය එල්ල කරන අතර මීට අමතරව පොහොර තහනම සම්බන්ධයෙන්ද ආණ්ඩුවේ සාමාජිකයන් කිහිප දෙනෙකුම ප්‍රසිද්ධියේ විවේචන එල්ල කළේය.

මෙන්න බලන්න තවත් පුවත්