ප්‍රරතික්ෂේපිත චීන පොහොර රැගත් හිපෝ ස්පිරිට් (Hippo Spirit) නැව කොළඹ වරායට ආසන්නව නතර කර ඇති බව, නාවික ගමනාගමන දත්ත ඇතුළත් සමුද්‍රීය වෙබ් අඩවි අනාවරණය කරයි.

අද(06) උදෑසන මෙම හිපෝ ස්පිරිට් නෞකාව ශ්‍රී ලංකා මුහුදේ (Sea of Sri Lanka) බටහිර මුහුදු ප්‍රදේශය දෙසට යාත්‍රා කරමින් සිටින බවට නාවික දත්ත විශ්ලේෂණ වෙබ් අඩවි අනාවරණය කර තිබුණි.

අවස්ථා දෙකකදීම මෙම පොහොර තොගයේ හානිකර බැක්ටීරියා අඩංගු බව තහවුරු වීම හේතුවෙන්, මෙය භාර ගැනීම ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කළේ ය.

මේ අතර හානිකර බැක්ටීරියා සහිත කාබනික පොහොර මෙරටට එවූ චීන සමාගමට ගෙවීම් කිරීම අවහිර කරමින් නිකුත් කර තිබූ වාරණ නියෝගය ලබන 19 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ද අධිකරණය ඊයේ (05) නියෝග කළේ ය.

තව ද ආන්දෝලනාත්මක චීන කාබනික පොහොර අඩංගු නෞකාවේ ඇති පොහොර ප්‍රතික්ෂේප කිරීමට හේතු වූ කරුණු සහිත වාර්තාවක් චීන තානාපති කාර්යාලයට ලබා දීමට තීරණය කර ඇතැයි, ඊයේ (05) වාර්තා විය.

කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා ඊයේ ප්‍රකාශ කර තිබුණේ, නිසි ප්‍රමිතියෙන් යුක්ත නොවීම මත පොහොර ප්‍රතික්ෂේප කිරිම ඇතුළු කරුණු සහිතව අදාළ වාර්තාව ලබා දෙන බවය.

මෙන්න බලන්න තවත් පුවත්