ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් ඝාතනය කිරීම සඳහා තිබූ බව කියන සැලසුම ගැන වහා පරීක්ෂණයක් අරඹන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේබණ්ඩාර පවසනවා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ සැලසුමක් තිබූ බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් දයාසිරි ජයසේකර මහතා මෑතකදී සහභාගි වූ රූපවාහිනී වැඩසටහනකදී කළ ප්‍රකාශය පදනම් කර ගනිමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ.

එවැනි සැලසුමක් ක්‍රියාත්මක වූවා නම් කුමන්ත්‍රණයක් තිබුණා යැයි කතා කරමින් නොසිට ඒ ගැන පරීක්ෂණයක් නොපවත්වන්නේ ඇයි දැයි පාලිත රංගේබණ්ඩාර ප්‍රශ්න කර සිටියේ.

අදාළ කුමන්ත්‍රණයට ගොදුරු වීමට සිටි බව කියන දෙදෙනා‌ගෙන් එක් අයෙකු එවකට විධායක ජනාධිපතිවරයා වූ අතර අනෙක් පුද්ගලයා වත්මන් විධායක ජනාධිපතිවරයා වන හෙයින් පරීක්ෂණ සඳහා කිසි ම බාධාවක් නැතැයි ද එජාප මහලේකම්වරයා සඳහන් කළේ.

ඝාතන සැලසුමක් තිබුණු බවට කළ ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශයක් නොවන්නේ නම් ඒ පිළිබඳව සොයා නොබලන්නේ මන්දැයි ද ඔහු මෙහිදී ප්‍රශ්න කර සිටියා.

මෙවැනි ඝාතන සැලසුමක් ඇතැයි මීට වසර ගණනකට පෙර නාමල් කුමාර නමැත්තෙකු පවසා සිටියා.

මෙන්න බලන්න තවත් පුවත්