ප්‍රධාන පෙළේ සමාගම් හතළිහක් සහ  පෞද්ගලික බැංකුවක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි ගණනක බදු මුදලක් ගෙවීම පැහැර හැර  ඇති බවට තොරතුරු අනාවරණයවී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) පවසයි.

මේ ආයතන  දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ආදායම් බදු  එක සත පහක් හෝ  වසර හතකින් ගෙවා නැතැයි  එම කාරක සභා ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ අතර  දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු ආදායම් එකතු කිරීමට ගෙනයන වැඩපිළිවෙළ  රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ  දැඩි විවේචනයට ලක්ව ඇත.

එහි ඇතැම් නිලධාරින්  බදු ගෙවීම පැහැර හරින්නන්ට  ආධාර අනුබල ලබාදෙන ආකාරයෙන් කටයුතු කිරීම  අනුමත නොකරන බව කමිටු නිලධාරීහු පැවසූහ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන  එම කාරක සභාවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අභියාචනා කමිටු කිහිපයක් ක්‍රියාත්මකවීම නිසා බොහෝ ආයතන  එම කමිටුව හරහා  ගොස් කල්මරමින්  බදු ගෙවීම  දීර්ඝ කාලයක් තිස්සේ  මෙලෙස  ප්‍රමාද කර ගන්නා බවයි.

අභියාචනා කමිටු කිහිපයක් මෙලෙස පැවතීම  බදු ගෙවීම පැහැර හරින්නන්ට  අද  ලොකු අස්වැසිල්ලක් වී ඇතැයි පවසන මහාචාර්යවරයා   මේ තත්වය සැලකිල්ලට ගෙන   එක අභියාචනා කමිටුවක් පමණක්  පවත්වාගෙන  යන්නැයි තමා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නිර්දේශ කර ඇතැයිද  සඳහන් කළේය.

එසේම මෙම බදු මුදල් කඩිනමින් අයකර ගැනීමට වෙනම අධිකරණ පද්ධතියක්  සකස් කරගත යුතු බවටද තමා යෝජනා කර  ඇතැයි  විතාරණ මහතා පැවසුවේය.

රටේ ඇතැම් ප්‍රධාන පෙළේ සමාගම්  ගෙවීම පැහැර හරින  බදු මුදල අයවැය පරතරය පවා පියවා ගැනීමට හැකි  මුදලක් බවත්  එම බදු මුදල එකතු කර ගැනීමට  නිශ්චිත විද්‍යාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත්  මහාචාර්ය තිස්ස විතාරණ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ,

මෙන්න බලන්න තවත් පුවත්