ඉන්දියාව කේන්ද්‍ර කරගෙන ත්‍රස්ත ක්‍රියාකාරකම්වල යෙදෙන ISIS ත්‍රස්ත සංවිධානයේ ප්‍රබලයෙකු සමග සමීප සබඳතා පවත්වමින් මෙරට ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ බවට සැකකරන ශ්‍රී ලාංකිකයින් 702 ක් සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය පූර්ව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පොලිස් ත්‍රස්ත මර්දන හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා වෙත කරුණු වාර්තා කරමින් මේ බව දැනුම් දුන්නා.

එම ලාංකිකයින්ගේ තොරතුරු අනාවරණයවී ඇත්තේ, ඉන්දියාවේ රාජ්‍ය බුද්ධි අංශය අත්අඩංගුවට ගත් මොහොමඩ් සම්සුදීන් නමැති ISIS ත්‍රස්ත සංවිධානයේ ප්‍රබල සාමාජිකයාගේ වට්ස්ඇප් ගිණුම පරීක්ෂා කිරිමේදී.

අන්තවාදීයෙකු වන සහරාන් හෂිම් පැවැත් වූ දේශන හඬපට හා ඡායාරූප එම වට්ස්ඇප් ගිණුමේ අන්තර්ගතව ඇති බවත් විමර්ශන නිලධාරීන් අධිකරණයට පෙන්වා දී තිබේ.

අදාළ සැකකරුවන් 702 දෙනා අතරින් එක් අයෙකු වන මොහොමඩ් තව්සාන් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා ගෙන සිටී.

ඔහු ISIS ත්‍රස්ත ක්‍රියාකාරකම්වලට හා පාස්කූ ප්‍රහාර මාලාවට දක්වා ඇති දායකත්වය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බවත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීහු අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා.

මෙන්න බලන්න තවත් පුවත්