බැසිල් රාජපක්ෂ හා තිරුකුමාර් නඩේෂන් යන මහත්වරුන්ට එරෙහිව මල්වානේ නිවසට අදාළව පවරා ඇති නඩුව ඊයේ ගම්පහ මහාධිකරණය හමුවේ නැවතත් කැඳවීය.

නඩුවේ සාක්ෂිකරුවෙකු වන මුදිත උපාලි ජයකොඩි මහතා අධිකරණයේදී කියා සිටියේ බැසිල් රාජපක්ෂ මහතා දුන් මුදල්වලින් කොන්ත්‍රාත්කරුවෙකු යොදා මල්වානේ නිවස ඉදිකළ බවයි.

තමන්ට ලැබුණු මුදල් කොන්ත්‍රාත්කරුට භාර දුන් බව ද සාක්ෂිකරු කියා සිටියේ ය.

මුදිත ජයකොඩි මහතා මේ බව කියා සිටියේ ගම්පහ මහාධිකරණය හමුවේ නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේ විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා නැගූ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

සාක්ෂිකරු කියා සිටියේ කොන්ත්‍රාත්කරුට මුදල් ලබා දීමේදී ඊට අදාළ රිසිට්පත් ලබා ගත් බවයි.

ඒවා තමාට අයත් සමාගමේ රිසිට්පත් බවට පිළිගන්නා බව ද සාක්ෂිකරු අධිකරණයේදී කියා සිටියේ ය.

දොම්පේ මල්වාන ප්‍රදේශයේ අක්කර 16 ක ඉඩමක් මිලට ගෙන එහි නිවසක් හා නාන තටාකයක් ඉදි කර රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ නීතිපතිවරයා බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාරන් නඩේසන් යන මහත්වරුන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.

මෙන්න බලන්න තවත් පුවත්