දිවයිනේ කිසිදු ප්‍රදේශයක අද සහ හෙට යන දිනවල විදුලි බිඳවැටීමක් හෝ ස්වාභාවික හේතුන් මත සිදුවන බිඳවැටීම් යථා තත්වයට පත් නොකිරීමේ තත්වයක් සිදු නොවන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.

එහි සභාපති එම්.එම්.සී ෆර්ඩිනෑන්ඩෝ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ විදුලිබල වෘත්තීය සමිති එවැනි තත්වයක් පිළිබඳව දැනුම් දී නොමැති බවයි.

මේ අතර දිවයින පුරා සිටින සියලු විදුලිබල මණ්ඩල සේවකයන් හෙට මධ්‍යහ්න 12ට කොළඹ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටට පැමිණ උද්ඝෝෂණයක නිරතවීමට සැළසුම් කර තිබෙනවා.

මෙම විරෝධතාවයට සහය දක්වමින් හෙට වරාය සහ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ වෘත්තීය සමිතිද විරෝධතා සංවිධානය කර තිබෙනවා.

ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී ෆර්ඩිනෑන්ඩෝ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ විදුලිය බිඳ වැටීමක් සිදුවීමට කිසිදු ඉඩක් නොමැති බවයි.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ ඇතුලු වෘත්තිය සමිති කිහිපයක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරමින් යුගදනවි බලාගාරයේ සියයට 40 ක කොටස් ඇමරිකානු සමාගමකට පවරා දීමට එළඹ ඇති ගිවිසුම වළක්වාල නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියා.

කෙසේ වෙතත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ජනතාව භුමිතෙල් ලබා ගැනීම සඳහා පෝලිම්වල රැදි සිටින අයුරු ද අද දක්නට ලැබුණා. මධ්‍යම කඳුකරයේ ඇතැම් ප්‍රදේශවල මෙන්ම මාවනැල්ල, ගම්පොල ඇතුලු ප්‍රදේශ කිහිපයක මෙම තත්වය දක්නට ලැබුණු බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

ඇතැම් වෙළඳ සැල් සහ ඉන්ධන පිරවුම්හල්වල එක් අයෙකුට ලබාදෙන භුමිතෙල් ප්‍රමාණය සීමා කිරීමටද පියවර ගෙන තිබුණා.

මෙන්න බලන්න තවත් පුවත්