දැනට ක්‍රියාත්මක අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝම්බර් මස 31 වෙනිදා දින අළුයම 4.00න් පසුව ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. නව සාමාන්‍යකරණය යටතේ ජන ජීවිතය අඩාල නොවී පවත්වාගෙන යාම අරමුණු කර ගනිමින් එම තීරණයට එළැඹී බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ රැස්වූ කොවිඩ් මර්ධන කමිටු රැස්වීමේදී ප්‍රකාශ කර සිටියේ.

කොවිඩ් වසංගතය හේතුවෙන් පාසල් දරුවන්ගේ අධ්‍යාපනය බරපතල ලෙස අඩාල වී ඇති බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කර සියලු පාසල්වල අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පංති ඇරඹීමට සෞඛ්‍ය නිර්දේශ මේ වන විට ලබාදී තිබෙන බවද මෙහිදී අනාවරණය කෙරුණා.

ඒ පිළිබඳ විදුහල්පතිවරුන් දැණුවත් කර පාසල් ආරම්භ කිරීමේ කටයුතු කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ.

විශ්ව විද්‍යාල පළමු වසර සිසුන් සඳහා අධ්‍යන කටයුතු ආරම්භ කිරීම පිළිබඳ කඩිනමින් සොයා බලන ලෙස ද ජනාධිපතිතුමා සෞඛ්‍ය සහ අධ්‍යාපන බලධාරීන්ට දැනුම් දෙනු ලැබුවා.

පොදු ස්ථාන, වෙළඳ සැල්, ආපන ශාල ඇතුළු ජනතාව ගැවසෙන ස්ථානවලට ඇතුළුවීමේ දී එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට ඇති හැකියාව පිළිබඳ වහාම සොයා බැලීමට ද තීරණය කෙරුණා.

එන්නත ලබා නොගන්නා පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කොරෝනා නීති ප්‍රකාරව ප්‍රතිපාදන ඇති බව පෙන්වා දුන් සෞඛ්‍ය බලධාරීහු ඒ පිළිබඳ නීතිපති උපදෙස් ඉල්ලා ඇති බව ද සඳහන් කර සිටියා.

පාසල් දරුවන් එන්නත්කරණය සඳහා ගෙන යන වැඩපිළිවෙලේ ප්‍රගතිය ද ජනාධිපතිතුමාගේ අධීක්ෂණයට ලක් කෙරුණා.

කොවිඩ් මරණ අනුපාතය සහ ආසාධිතයින් අඩු කර ගැනීමට එන්නත්කරණ වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත්ව ක්‍රියාවට නැංවිමේ අවශ්‍යතාවය අවධාරණය කළ ජනාධිපතිතුමා දුෂ්කර ප්‍රදේශවල එන්නත්කරණයට ජංගම රථ යොදවමින් සියලු ජනතාවට එන්නත ලබා ගැනීමේ අවස්ථාව සලසා දෙන ලෙස උපදෙස් දුන්නා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ග්‍රාම සේවා නිලධාරීන් සහ ප්‍රාදේශීය දේශපාලන අධිකාරියේ ද සහාය ඒ සඳහා ලබා ගන්නා ලෙස දැනුම් දෙනු ලැබුවා.

එන්නත්කරණය පිළිබඳ විවිධ කණ්ඩායම් ගෙන යන අසත්ය ප්‍රචාර පිළිබඳ පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරුන් විසින් ජනාධිපතිතුමා වෙත කරුණු හෙළි කරනු ලැබුවා.

එන්නත්කරණය පිළිබඳ ජනතාව තුළ අනවශ්‍ය බිය ගැන්වීම් ඇති කිරීමට උත්සාහ කරන සමාජ මාධ්‍ය ඇතුළු විවිධ සංවිධානගත කණ්ඩායම් පිළිබඳ වහාම සොයා බලන්නැයි ද ජනාධිපතිතුමා විසින් පොලිස්පතිවරයාට උපදෙස් දෙනු ලැබුවා.

පවතින තත්ත්වය පාලනය කරමින් රට සාමාන්‍යයකරණයට ගෙන ඒමේ ක්‍රියාවලියේ දී පළාත් සහ දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරුන් වැඩි වගකීමක් ගතයුතු බව පෙන්වා දුන් ජනාධිපතිතුමා සියලු අංශ සම්බන්ධීකරණය කරමින් කොවිඩ් මර්දන වැඩපිළිවෙළ තවදුරටත් සාර්ථක කර ගැනීමට කැපවන ලෙස ද ඔවුන්ගෙන් ඉල්ලා සිටියා.

කොරෝනා හමුවේ අභියෝගයට ලක්වූ ආර්ථිකය යලි පණ ගැන්වීමේ ප්‍රමුඛ අංශය ලෙස සංචාරක කර්මාන්තය හඳුනාගෙන තිබේ. ඊට අදාළ නව තීරණ රැසකට කඩිනමින් එළැඹීමේ අවශ්‍යතාවය සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් පෙන්වා දෙනු ලැබුවා.

සෞඛ්‍ය විශේෂඥ උපදෙස් වලට යටත්ව සංචාරක කර්මාන්තය ඉහළට ගැනීමට වඩාත් උනන්දුවෙන් සියලු දෙනා සහයෝගය දිය යුතු බව ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කර සිටියා.

ඉදිරියේ දී මෙරට පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර ක්‍රීඩා තරඟාවලි මෙරටට පැමිණ නැරඹීමේ අවස්ථාව විදේශ ප්‍රේක්ෂකයින්ට ලබාදීම කෙරෙහි ද දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් විය. ඔවුන් ජීව බුබුළ තුළ රඳවා ගනිමින් පහසුකම් සැපයීමේ හැකියාව ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දුන්නේ.

ඉදිරියේ දී මෙරට පැවැත්වෙන LPL තරගාවලිය ඇතුළු තවත් බොහෝ තරග නැරඹීමට ප්‍රේක්ෂකයින්ට මෙරටට පැමිණීමට අවස්ථාව සළසා දෙන ලෙස දෙස්, විදෙස් තරග සංවිධායකවරුන්ගෙන් ඉල්ලීම් රැසක් ලැබී ඇති බවත්, එය සංචාරක කර්මාන්තයේ සහ විදේශ විනිමය ඉහළ නංවා ගැනීමට සුවිශේෂී අවස්ථාවක් බවත් අමාත්‍ය නාමල් රාජපක්ෂ පෙන්වා දුන්නා.

 

මෙන්න බලන්න තවත් පුවත්