2019 පාස්කු ප්‍රහාරයට අදාලව සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා ඇතුළු පිරිසක් විසින් තමා සම්බන්ධයෙන් සිදු කළ විවිධ ද්වේෂ සහගත ප්‍රකාශයන්ට එරෙහිව රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ විසින් අද (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.

පාස්කු ප්‍රහාරය මෙහෙයවූ තව්හිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් හට මුල්‍යම ආධාර ඇතුළු වෙනත් පහසුකම් ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ විසින් ලබාදුන් බවට ඔක්තෝබර් 23 වන දින පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අන්තර්ජාලය ඔස්සේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමන් විසින් සඳහන් කර ඇති බවයි පැමිණිල්ලේ සඳහන් වන්නේ. තව්හිත් ජමාත් සංවිධානය මේ වන විට මෙරට තහනම් සංවිධානයක් ලෙස නම් කර තිබෙනවා.

එවකට බ්‍රිගේඩියර්වරයකු වූ සුරේෂ් සලේ විසින් සහරාන් හෂීම් සහ ඔහුගේ අනුගාමිකයින් පෝෂණය කිරීමට සක්‍රීයව සම්බන්ධ වූ බවට සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා විසින් සඳහන් කර තිබෙන බවයි පැමිණිල්ලේ සඳහන් වන්නේ.

සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා ඇතුළු පිරිස තමාට එල්ල කළ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, තමන් අපකීර්තියට ලක් කිරීම සඳහා සාවද්‍ය චෝදනා නගන බවයි මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අවධාරණය කර සිටින්නේ.

මෙම චෝදනාවල අරමුණ සාමාන්‍ය ජනතාව නොමග යැවීම පමණක් නොව හිතාමතාම තම කීර්ති නාමය කෙලෙසීම මෙන්ම තම ජීවිතයට සහ පවුලේ අයගේ ජීවිතවලට හානි කිරීම බව පැමිණිල්ලේ සඳහන් වේ.

මේජර් ජනරාල් සුරේෂ් සලේ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගොනු කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ කිසිඳු හේතුවක් මත සහරාන් හෂීම් හෝ ඔහුගේ අනුගාමිකයන් සමඟ කිසි දිනෙක තමන් සන්නිවේදනය කර නොමැති බවයි.

සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමාට මෙන්ම අදාළ අන්තර්ජාල සංවාදයට සහභාගී වූ අනෙක් අයට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස මේජර් ජනරාල් සුරේෂ් සලේ විසින් සිය පැමිණිල්ලෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත.

මෙන්න බලන්න තවත් පුවත්