මුහුණු පොතින් හඳුනා ගනු ලැබූ පෙම්වතියගේ ඉල්ලීම මත බැංකු ගිණුම් හතරක් විවෘත කොට පෙම්වතිය විසින් සිදුකර ඇති විශාල මුදල් වංචාවක් සම්බන්ධයෙන් පෙම්වතා අත්අඩංගුවට ගෙන ඇති බව මොරටුව පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මතුගම ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකු වන අතර ඔහු සුපවේදී ශිෂයෙකු ලෙස කටයුතු කරනු ලබනවා.

විදේශ රැකියා ලබා දෙන බව පවසමින් අදාළ බැංකු ගිණුම් ඔස්සේ මුදල් ගනුදෙනු සිදුවී ඇති අතර විදේශ රටවලට යවන බව පවසමින් සිදුවූ මුදල් වංචාවක් පිළිබඳව කාන්තාවක ගෙන් ලද පැමිණිල්ලක් අනුව සිදුකළ මුලික විමර්ශනයේදී මෙම සැකකරු අත්අඩංගුව ගත් බවයි මොරටුව පොලිසිය සඳහන් කර සිටියේ.

අත්අඩංගුවට පත්වූ සැකකාර පෙම්වතා හා නන්නාදුනන පෙම්වතිය අතර මාස 04ක පමණ මුහුණු පොතෙන් පමණක් හඳුනා ගෙන ප්‍රේම සම්බන්ධතාවයක් තිබී ඇතැයි ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරිමෙදි අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.

අදාළ පෙම්වතිය ගැන කිසිදු තොරතුරක් නොදන්නා මොහු රාජ්‍ය සහ පෞද්ගලික බැංකු හතරක ගිණුම් ආරම්හ කර ඇති අතර එසේ කර ඇත්තේ දෙදෙනා එක්වී ව්‍යාපාරයක් ආරම්භ කරමු යැයි පෙම්වතිය පැවසීම නිසා බවයි ඔහු පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ.

එම ගිණුම් වලට හිමි ATM කාඩ්පත් සහ සියලු ලිපි ලේඛණ කූරියර් සේවාවක් හරහා පෙම්වතියට ලැබීමට ඉඩ සැලසු බවත් එම ගිණුම්වල සියලු කටයුතු සිදුකර ඇත්තේ අදාළ පෙම්වතිය බවට පොලිසියට ප්‍රකාශ කර ඇත.

එම ගිණුම් මගින් සිදුවන සෑම ගනුදෙනුවකදීම තමාගේ දුරකථනයට කෙටි පණිවිඩයක් පමණක් ලැබූ බවයි පොලිසියට ප්‍රකාශයක් ලබාදෙමින් අදාළ තරුණයා සඳහන් කර ඇත්තේ.

මෙම ජාවාරමට සම්බන්ධ බව කියන සැකකාර පෙම්වතිය සොයා මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති අතර තරුණයා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මෙන්න බලන්න තවත් පුවත්