මෙරට ඉන්දියන් තෙල් සමාගම විසින් ඉන්ධන මිල ඉහළ දැමීම නිසා ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ පාඩුව තවත් වැඩි වන බැවින් පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ දැමිය යුතු බවට සංස්ථාව විසින්ද යෝජනා කර තිබේ.

ඒ අනුව ඩීසල් ලීටරයක් රුපියල් තිහකින් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් විස්සකින් ඉහළ දැමිය යුතු බවට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් යෝජනා කර ඇති බවට විශ්වාස කටයුතු ආරංචි සඳහන් කරයි. නමුත් යෝජිත මිල ගණන් වෙනුවට ඩීසල් ලීටරය රුපියල් විස්සකින් සහ පෙට්‍රල් ලීටරය රුපියල් දහයකින් ඉහළ දැමීමට රජයේ අවධානය යොමුවී ඇතැයිද ඉහත ආරංචි මාර්ග සඳහන් කළේ.

කෙසේ වෙතත් ඊයේ ඛනිජ තෙල් සංසථාවේ පැවැති සාච්ඡාවකදී එහි සභාපති නීතිඥ සුමිත් විජේසිංහ ප්‍රකාශ කළේ මෙම වැඩිවීම වහා සිදුවිය යුතු බවය.

ඉන්දියානු ඔයිල් සමාගම ඩීසල් සහ පෙට්‍රල් ලීටරය රුපියල් පහකින් ඉහළ දමා කෙසේ කළමනාකරණය කරනවාද යන්න තමන් නොදන්නා බව කී සභාපතිවරයා පැවසුවේ රුපියල් පහක මිල වැඩිවීමක් සංස්ථාවට නම් ප්‍රමාණවත් නොවන බවයි.

ඉන්ධන මිල වැඩි කළ යුතු බවට සංස්ථාව පසුගිය පළමු වැනිදා රජයට යෝජනා කරද්දී ලෝක වෙළෙඳපොළේ ඩීසල් බැරලයක් ඩොලර් 88.52 කට සහ පෙට්‍රල් බැරලයක් ඩොලර් 85.80 ක් වූ බවද අද ඩීසල් බැරලය ඩොලර් 97 කට සහ පෙට්‍රල් බැරලය ඩොලර් 99.30 දකවා ඉහළ ගොස් ඇතැයිද සභාපතිවරයා පැවැසීය.

මෙ මාසයේදී සංස්ථාව ඩීසල් ලීටරයකින් රුැපියල් 37.45 ක් සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 23. 19ක අලාභයක් ලබන බවද ඉන්දියානු ඔයිල් සමාගම මිල වැඩි කළ ආකාරය සංස්ථාවේ අලාභයට වක්‍රව බලපාන බවද හෙතෙම පැවැසුවේය.

මෙන්න බලන්න තවත් පුවත්