ඓතිහාසික සිතුල්පව්ව විහාරස්ථානයේ කුඩා ස්ථූපයට හානි කර එහි තිබූ නිධන් වස්තු පැහැර ගැනීමේ සිද්ධියට සම්බන්ධ ඉතිරි සැකකරුවන් ද හඳුනාගෙන ඇති බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග ප්‍රකාශ කළා.

අදාළ ස්ථූපය අද පස්වරුවේ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අදහස් දක්වමිනුයි ඔහු මෙම අදහස් පළ කළේ.

යාල ජාතික වනෝද්‍යානයේ උසම ස්ථානයේ පිහිටා ඇති මෙම කුඩා ස්ථූපයේ නිධන් සොරුන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බව අද උදෑසන එහි ආරක්ෂාවට යොදවා සිටින යුද හමුදා නිලධාරීන් දැක තිබෙනවා.

ඔවුන් අදාළ ස්ථානය නිරීක්ෂණය කරන විට ජලය සොයමින් සිටි පුද්ගලයෙකු දැක අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී අනෙක් සැකකරුවන් පළා ගොස් ඇති බවයි වාර්තා වන්නේ. පසුව කළ නිරීක්ෂණයකදී චෛත්‍ය වටා ඔතා තිබූ සුදු තිරයක් නිධන් හැරීමට රැගෙන ආ ආයුධ කිහිපයක් ද සොයා ගැනුණා.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකර චූදිතයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.

ඔහු අදාළ නිවේදනයේ දක්වා ඇත්තේ තමා සංස්කෘතික අමාත්‍යවරයා සිටි සමයේ  පුරාවිද්‍යා පනතට හා 2005 දඩ මුදල් පනතට සංශෝධන ලෙස පවතින නීති සහ දැඩි දඩුවම් පැමිණවීමට කැබිනට් අනුමැතිය ලබා ගත් බවයි.

එහෙත් ආණ්ඩු වෙනසින් පසු මේ පිළිබද විශ්ලේෂණය කිරීමට වත්මන් ආණ්ඩුව කමිටුවක් පත් කළ නමුත් එම කමිටුව මෙතෙක් සිය නිර්දේශ ඉදිරිපත් කර නොමැති බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ.

කඩිනමින් කළ යුතු කටයුතු අතපසු කිරීමේ අවසාන ප්‍රතිඵලය වන්නේ අගතියක් මිස යහපතක් නොවන බව ඔහු අදාළ නිවේදනයේ වැඩිදුරත් දක්වා තිබෙනවා.

මෙන්න බලන්න තවත් පුවත්