හරි කෙනෙක් එක්ක හොඳ වැඩක් කරන්න ඕනෑ…

මට නම් ඒ ගැන හිතාගන්න බැහැ….

ප්‍රියසාද් පවුලේ බඩපිස්සි එහෙමත් නැති නම් අක්කිලා දෙන්නගේ චූටි නංගී සමාජ මාධ්‍යයේ නිතරම කතාබහට ලක්වෙන චරිතයක් තමා ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ. ඉතිං මේ දවස්වල ඇය සිදු කරන වැඩ කටයුතු ගැන සති අන්ත පුවත්පතකට කියලා තිබ්බේ මෙහෙම කතාවක්.

ෂනු මෙගා වැඩවලින් ඈත් වුණාද? 

ඒක මම හිතලා කරපු දෙයක් නෙමෙයි. මට ආරාධනා ලැබුණට පස්සේ මම හිතුවා වෙනසකට හොඳයි කියලා. හැමදාම මාව එක ටෙලිනාට්‍යයකින් දැකලා මිනිසුන්ට එපා වෙනවාට වඩා හොඳයි මතකයේ සිටින නාට්‍යයකට දායක වෙනව කියන අදහසේත් හිටියා. එහෙමයි කියලා මෙගා වැඩ භාර නොගෙන ඉන්නේ නැහැ. බොහෝ වෙලාවට මාව හිරු නාළිකාවේ මෙගා වැඩකින් ඉදිරියේදී දැක ගන්න ලැබේවි.

ඔයා වැඩක් භාරගන්න කොට දිනක්ෂිගෙන්, ශේෂාද්‍රිගෙන් අහනවද? 

ඔව්. අක්කලා දෙන්නා, අම්මා, තාත්තා කියන හැමෝටම මම කියනවා ඒ ගොල්ලන්ට මම මගේ හැමදේම කියනවා. ටෙලිනාට්‍ය ගැන ගොඩක් වෙලාවට අහන්නේ අක්කාගෙන්. තාත්තාගෙන් චිත්‍රපට ගැන විමසනවා.

ඔය තුන් දෙනාගෙන් වැඩිපුර ජනප්‍රිය ඔයා නේද? 

එහෙම නැහැ. ලොකු අක්කාට තමයි ගොඩක් දෙනෙක් ආදරේ කරන්නේ. තුන් දෙනාටම කැමැතියි. සමහර වෙලාවට මට ආස නැහැ. ලොකු අක්කාට ආසයි. මට ආස නැහැ අක්කලා දෙන්නට ආසයි. මට නම් ඒ ගැන හිතාගන්න බැහැ.

පාරට බැස්සම ෂනුට මිනිස්සු මොනවද කියන්නේ? 

මම ගොඩක් වෙලාවට කඩේ යනවා මගේ දේවල් මම තනියම කර ගන්නවා. ඒ වගේ වෙලාවට පාරට බැස්සහම කොහේ හරි ඉන්න කොට ළඟට ඇවිත් ගොඩක් දෙනෙක් කතාබහ කරලා යනවා.

මේ දිනවල චිත්‍රපටයක වැඩ කියලත් ආරංචියි? 

ඔව්. මම මේ දවස්වල චිත්‍රපටයක වැඩ කරනවා. චිත්‍රපටයේ නම ආදරණීය ප්‍රාර්ථනා එකේ අලූත් කණ්ඩායමක් තමයි ඉන්නේ. අධ්‍යක්ෂණය වාසුල වඩුගේ. රඟපාන්නේ මම සහ නෙත්මි රොෂෙල් වගේම නවක කෙනෙක් වන රාහුල්. මම වැඩිහිටි කෙනෙක් විදිහට රඟපාන පළමු වතාව. මට ආසම හිතුණ චරිතයක් හින්දා මම ඒ චරිතය තෝරා ගත්තා.

ආපහු ගීතයක් කරන්න අදහසක් නැතිද? 

මට වෘත්තීය ගායිකාවක් වෙන්න අදහසක් නැහැ. ගායනයට ආසයි. ලොකු අක්කා ගේ වෙඩිං එකට ගීතයක් කළා. ගෙදර කට්ටියත් කියනවා ගීතයක් කරන්න කියලා. හරි කෙනෙක් එක්ක හොඳ වැඩක් කරන්න ඕනෑ කියන අදහසේ ඉන්නවා.

ෂනුට වැඩිපුර උදව් ලැබෙන්නේ දිනක්ෂි අක්කාගෙන්ද? ශේෂාද්‍රි අක්කාගෙන්ද? 

දෙන්නාගෙන්ම එක විදිහට ලැබෙනවා. අපි තුන්දෙනා හරි එකමුතුයි අපි තුන් දෙනාට අපි තුන්දෙනා ඉන්නවා. ක්ෂේත්‍රය ගැන කියා දෙන්නේ ලොකු අක්කා. අධ්‍යාපන වැඩවලට උදව් කරන්නේ පොඩි අක්කා.

ෂනු හොඳම නිළිය වෙන්න ද සූදානම් වෙන්නේ? 

මම සම්මාන ගන්නවා කියලා බලාගෙනම රඟපාන කෙනෙක් නෙමෙයි. ඒක ඔළුවේ තියාගෙන වැඩ කළොත් මට වැඩ කර ගන්න බැරි වෙනවා. මොකද ලැබුණේ නැති නම් හිත රිද්දගනීවි. මම කැමැති මම කරන චරිතය හොඳට කරන්න.

රසික ප්‍රතිචාර වගේම ෂනුට ආදර යෝජනාත් ගලාගෙන එනවා නේද? 

ඔව්. සමහර වෙලාවට මට ගෙදරට කෝල් පවා එනවා ඉන්ස්ටර්ග්‍රෑම්, ෆේස්බුක් හරහාත් ආදර යෝජනා ගලාගෙන එනවා. ඕනෑම ප්‍රසිද්ධ චරිතයකට රසිකයෝ ආදරෙයි කියලා කියනවා. ඒක මට විතරක් අදාළ කාරණාවක් නෙමෙයි. ඒක සාමාන්‍ය දෙයක්.

ජනප්‍රියත්වය කරදරයක් වුණ අවස්ථා එහෙමත් තියෙනවද? 

සමහර වෙලාවලදී එහෙම හිතෙන අවස්ථා තියෙනවා. අපි මේ කරන දෙයක් එක්ක ඉස්සරහට ජනප්‍රියත්වය කියන දෙයත් අපි අතරම තියෙන දෙයක් වෙනවා. ඒක දැන් සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා. ඒකට අපි හැඩ ගැහිලා ඉන්නේ. සීමාවන් දැනගෙන වැඩ කරන කොට ඒවා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.

දිනේෂ් විතාන
Courtesy – Divaina 

මෙන්න බලන්න තවත් පුවත්